උපදෙස් සහ මාර්ගෝපදේශ

අලුත් කාර් එකක් ගන්න කලින් සැලකිල්ලට ගත යුතු වැදගත්ම දේවල් 5 ක්

අලුත් වාහනයක් මිලදී ගන්නට සූදානම් වෙද්දී ඔබ ඒ ගැන කොච්චර ආශාවෙන්, උනන්දුවෙන් සිටිනවාද යන්න අප හොඳින් දන්නවා. එහෙත් කොපමණ ආශා සිතුණත්, හිත ගිය වාහනය මිලදීගන්නට කලින් ඔබ සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. 

ඔබේ වාහනය ඔබේ එදිනෙදා කටයුතු වලදී අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම ඔබට දිනපතා බොහෝ දුරක් සහ කාලයක් වාහනය පැදවීමට සිදුවනවා නම්, වාහනය හොඳ තත්ත්වයෙන් පැවතීම ඉතාමත් වැදගත්. 

ඒ නිසා, අලුත් වාහනයක් මිලදීගැනීමේදී ඔබ සැලකිල්ලට ගත යුතු කරුණු 5 ක් මේ ආකාරයට විස්තර කරන්නට අප කල්පනා කළා. 

1. වාහනය පාවිච්චි කිරීමේ වියදම් 

වාහනය ධාවනය කිරීමේදී සහ නඩත්තු කිරීමේදී අඛණ්ඩව මුදල් වැයකිරීමට සිදුවනවා. ඒ නිසා අලුත් වාහනයක් මිලදීගැනීමට පෙර මෙම වියදම් සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් කිරීම අවශ්‍යයි. ඉන්ධන වියදම් සහ ඉන්ධන පරිභෝජනය, රක්ෂණය සඳහා වැයවන වියදම්, අලුත්වැඩියාව සඳහා වැයවන වියදම් ආදිය මේ අතරින් ප්‍රධානයි. වාහනය සම්බන්ධ වියදම් ඔබේ මාසික වියදම් සීමාවෙන් 15% ත් 20% ත් මට්ටමේ පවත්වාගන්නට උත්සාහ කරන්න. 

පෙට්‍රල් මිල ඩීසල් මිලට වඩා ඉහළයි. එහෙත් ඩීසල් වාහන පෙට්‍රල් වාහන වලට වඩා මිලෙන් වැඩි වන අතර නඩත්තු වියදමත් වැඩි වීමට ඉඩ තිබෙනවා. අනෙක් අතට ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහන දීර්ඝකාලීනව ඔබට සැලකිය යුතු මුදලක් ඉතිරිකර දේවි. ඒ වගේම වාහනය මිලෙන් වැඩි වන තරමට රක්ෂණ වාරිකද ඉහළ යන්නට පුළුවන්. ඒ නිසා වාහනයක් මිලදීගැනීමට පෙර, අදාළ වාහනය සඳහා ඔබ ගෙවිය යුතු රක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමටත් අමතක කරන්නට එපා. ඊට අමතරව, අමතර කොටස් ලබාගැනීමේ හැකියාව සහ ඒවායේ මිලගණන් ගැනත් සැලකිලිමත් වෙන්න. එවිට අනාගතයේදී වාහනය සම්බන්ධයෙන් බරපතළ ගැටලු වලට මුහුණ නොදී සිටීමට ඔබට හැකියාව ලැබේවි. 

2. වාහනයේ තත්ත්වය සහ තාක්ෂණය 

වාහනයේ ඇතුළත සහ පිටත තත්ත්වය හොඳින් පරීක්ෂා කරන්න. වාහනය අලුත් එකක් වුණත් එහි බඳේ අනතුරු හෝ සීරීම් වැනි දේවල් සම්බන්ධ සලකුණු තිබෙනවාදැයි බලන්න. එන්ජිමේ තත්ත්වයත් හොඳින් පරීක්ෂා කරන්න. වාහනය පදවා බැලීම ඉතාමත් වැදගත්. එවිට වාහනයේ දර්ශක වලින් අනතුරු ඇඟවීම් නිකුත් වෙනවාද යන්න සහ වාහනයෙන් අමුතු ශබ්ද නැගෙනවාද යනාදිය දැනගැනීමට හැකියාව ලැබෙනවා. වාහනය සම්බන්ධයෙන් සාමාන්‍ය නොවන දේවල් කිසිවක් දකින්නට හෝ අසන්නට ලැබෙනවාද යන්න ගැන ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න. 

ඊට අමතරව වාහනයේ විශේෂාංග සහ තාක්ෂණය ගැන අවධානය යොමුකිරීම වැදගත් වෙනවා. ආරක්ෂාව සඳහා යොදා ඇති අංග, ඉඩපහසුව, බඩු ගෙනයාමට ඇති ඉඩකඩ, ගමනේ සුවපහසුව ආදිය ඔබේ අවශ්‍යතාව පරිදි පවතිනවාදැයි සොයාබලන්න. සංකීර්ණ තාක්ෂණය තිබූ පලියට, ඒවා ඔබට වැදගත් වෙන දේවල් නොවේ නම්, වැඩියෙන් මුදල් ගෙවීම අර්ථයක් නැති දෙයක්. 

3. ධාවනය කර ඇති මුළු දුර 

ධාවනය වූ දුර ප්‍රමාණය 0 ලෙස සටහන් වන වාහන ඔබට හමුවන්නේ නැහැ. නිෂ්පාදනය වීමේ පටන් අලෙවිසැල වෙත පැමිණීම දක්වා, පරීක්ෂණ ධාවන සහ සාමාන්‍ය නඩත්තු ඇතුළුව, එම වාහන යම්තාක් දුරක් ධාවනය වෙනවා. එසේ වුවත්, වාහනය අනවශ්‍ය ප්‍රමාණයට ධාවනය වී නොමැති බව තහවුරු කරගන්න. අලුත් වාහන සම්බන්ධයෙන් ගත්විට, අඩු හෝ වැඩි ලෙස සීමාවක් දැක්වීම අපහාසු වුවත්, ධාවනය වූ දුර අඩු වන තරමට යහපත් බව මතක තබාගන්න. 

සාමාන්‍යයෙන් සැතපුම් 35 ට අඩු නම් එය යහපත් ලෙස සලකන්නට පුළුවන්. එහෙත් ඔඩෝමීටරයේ සැතපුම් 100 ට ඉහළ ප්‍රමාණයක් දැක්වෙනවා නම් එක්කෝ වෙනත් වාහනයක් ඉල්ලා සිටින්න. නැතිනම් මිල අඩු කරගන්නට උත්සාහ කරන්න. එහෙත් විවිධ විශේෂාංග වැඩිදියුණු කිරීම් වලට ලක්වී ඇති වාහන වල ධාවනය වූ දුර ඉහළ වන්නට පුළුවන්. ඒවා අදාළ වැඩිදියුණු කිරීම් වලින් පසුව අදාළ කර්මාන්තශාලාව තුළ කිසියම් දුරක් ධාවනය වී තිබෙන්නට ඉඩ තිබෙනවා. 

4. නැවත අලෙවි කිරීමේදී ලැබෙන වටිනාකම 

වාහනය මිලදීගැනීමට පෙර එම වාහනය සම්බන්ධ කරුණු හොඳින් සොයාබලන්න. පසුකාලීනව අලුත් වාහනයක් මිලදීගැනීම සඳහා හෝ වෙනත් හේතුවක් මත එය අලෙවි කිරීමේදී ඔබට ලැබීමට ඉඩ ඇති වටිනාකම ආදිය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම මගින් ඔබට වඩාත් නැණවත් තීරණයක් ගැනීමට ඉඩකඩ සැලසෙනවා. 

වාහනයේ නිෂ්පාදිත වර්ෂය දැනගන්න. වාහනය පැරණි වන තරමට නැවත අලෙවි කිරීමේදී ලැබෙන මිල අඩු වෙනවා. ඒ වගේම වෙළඳපොළේ බහුලව පවතින වාහන වල මිලද අඩු වීමට පුළුවන්. 

5. අතේ ඇති මුදල සහ ඉතිරි මුදල් සපයාගැනීම 

මිලදීගැනීමට වාහන සෙවීමට පෙර, ඒ සඳහා කොපමණ මුදලක් වැයකිරීමට ඔබට හැකියාව තිබේද යන්න තීරණය කරන්න. ඔබට තෝරාගැනීම් රාශියක් ලැබීමට ඉඩ ඇති නිසා තීරණයක් ගැනීම දුෂ්කර වීමට පුළුවන්. එහෙත් නිසි ලෙස කරුණු සොයාබලා කටයුතු කරන්නේ නම් වඩාත් වාසිදායක ගනුදෙනුවක් සිදුකිරීමට අවස්ථාව ලැබේවි. 

ඔබ වාහනය සඳහා ගෙවීම් කරන ආකාරයත් ඉතාම වැදගත්. අවශ්‍ය මුළු මුදල ඔබ සතුව නොමැති නම් බැංකු ණයක් හෝ වෙනත් ක්‍රමයක් මගින් මුදල් සපයාගැනීමට සිදුවනවා. 

Ikman.lk හි අප සමග අත්වැල් බැඳගෙන සිටින හවුල්කරුවන් වෙතින් ඔබට වඩාත් හොඳ මූල්‍ය සේවාවන් ලබාගැනීමට උපකාරී වීමට අපට පුළුවන්. ලිපිලේඛන කටයුතු වල පටන් ඔබ වාහනය මිලදීගන්නා අවස්ථාව දක්වාම පූර්ණ සේවාවක් සැපයීමට අපට හැකියාව තිබෙනවා. 

වැඩිදුර විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න. ඔබේ වාහන සිහිනය සැබෑකරගැනීමට අත්වැලක් වීමට අප සූදානම්!

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close