කාර් සහ වාහනප්රවෘත්ති සහ සමාලෝචන

2021 අයවැය සහ වාහන ආනයන තහනම – ශ්‍රී ලංකා වාහන කර්මාන්තයට ඇති බලපෑම කුමක්ද?

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වයට මේ වසර එතරම් හොඳ නොවූ අතර, COVID19 වසංගත තත්වය නිසාවෙන් එය වඩාත් නරක අතට හැරුණි. අරගලකාරී ආර්ථිකයක් මධ්‍යයේ රජය 2020 නොවැම්බර් 17 වන දින 2021 අයවැය යෝජනා කළ අතර, නව අයවැයේ තීරණ රටේ සියලුම කර්මාන්තවලට යම් මට්ටමකට බලපාන බව නොරහසකි.

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ කර්මාන්තයන් අතර වාහන කර්මාන්තය ප්‍රධාන තැනක් ගන්නා නමුත්, එයටද යම් සීමා පැනවීමට රජයට සිදු වී ඇත්තේ ආර්ථික තත්වය නිසාවෙනි.

ඉතින්, 2021 අයවැය ශ්‍රී ලංකාවේ වාහන කර්මාන්තයට බලපාන්නේ කෙසේද? කර්මාන්තයේ වත්මන් තත්වය කුමක්ද? වැදගත්ම දෙය නම්, කර්මාන්තයේ අනාගතය කුමක් වනු ඇත්ද?

2020 අයවැය සහ ශ්‍රී ලංකා වාහන කර්මාන්තය

2021 අයවැයට පෙර, ශ්‍රී ලංකාවේ වාහන කර්මාන්තයට අදාළව ගිය වසරේ (2020) අයවැය දෙස බලමු.

2020 අයවැයෙන් මෝටර් වාහන සහ සුඛෝපභෝගී බදු සංශෝධනය කරන ලදී.

මෙහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ වාහන මිල අවම වශයෙන් රුපියල් 150,000 කින් සහ උපරිම වශයෙන් රුපියල් 600,000 කින් ඉහළ යාමයි.

  • 800cc ට අඩු එන්ජින් ධාරිතාව සහිත වාහන – රු .150,000 කින් ඉහළට
    (උදා: සුසුකි ඇල්ටෝ, ඩයිහාට්සු මිරා, ටොයොටා පික්සිස් සහ හොන්ඩා එන් බොක්ස්)
  • 1000cc ට අඩු එන්ජින් ධාරිතාව සහිත වාහන – රු .250,000 කින් ඉහළට
    (උදා: ටොයොටා වයෝස්, ටොයොටා පැසෝ සහ සමහර හොන්ඩා මාදිලි)
  • 1300cc ට අඩු එන්ජින් ධාරිතාව සහිත වාහන – රු .500,000 කින් ඉහළට
    (උදා: ටොයොටා සී-එච්ආර් සහ ටොයොටා යාරිස්)
  • 1500cc ට අඩු එන්ජින් ධාරිතාව සහිත පෙට්‍රල් වාහන – රු .600,000 කින් ඉහළට
    (උදා: ටොයොටා ප්‍රිමියෝ, ටොයොටා ඇලියන් සහ හොන්ඩා සීආර්-වී)
  • 800cc ට අඩු එන්ජින් ධාරිතාව සහිත හයිබ්‍රිඩ් වාහන – රු. 250,000 කින් ඉහළට
    (උදා: සුසුකි වැගන් ආර් සහ සුසුකි ස්පේසියා)
  • 1500cc ට අඩු එන්ජින් ධාරිතාව සහිත හයිබ්‍රිඩ් වාහන – රු .500,000 කින් ඉහළට
    (උදා: ටොයොටා ඇක්සියෝ, හොන්ඩා වෙසල් සහ හොන්ඩා ග්‍රේස්)

මාර්තු සිට වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය

“පසුගිය පස්වසර තුළ ඩොලර් මිලියන 5,318ක් පමණ විදේශ විනිමය යොදා ආනයනය කළ වාහන වල වටිනාකම එම කාලය තුළ අප ලබාගත් ණය ප්‍රමාණයෙන් සියයට 21ක් තරම් විශාල ප්‍රමාණයක්.”

2021 අයවැය කථාව

මේ වසර ආරම්භයේදී, ශ්‍රී ලංකාවේ ආර්ථික හානිය පාලනය කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජයට සිදු වුනා. එම පියවරයන්ගෙන් එකක් වූයේ අවම වශයෙන් වසරකට වාහන ආනයනය තහනම් කිරීමට ගත් තීරණයයි. ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල ප්‍රකාශන කිහිපයකට අනුව, මෙයට හේතුව වූයේ, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාහන ආනයනය, ඇමරිකානු ඩොලර් මිලියන 800 කට ආසන්න ප්‍රමාණයක්, එසේත් නැත්නම් පසුගිය වසර 13 සඳහාවූ මුළු ආනයනයන්ගෙන් සියයට 4 ක් වීම නිසායි. මේ අනුව, 2020 මාර්තු 19 සිට ආනයනකරුවන්ට වාහන ආනයනය කිරීම නතර කිරීමට සිදුවිය.

මුලදී රජය මෙම තහනම පැනවූයේ මාස 3 ක් සඳහා පමණි. ඔවුන්ට එය දීර්ඝ කිරීමට සිදුවිය. තවද, මෙම ලිපිය ලියන අවස්ථාවේදී, තහනම තවමත් එලෙසම පවතී.

vehicle import ban

මෙම ආනයන සීමා කිරීම් හේතුවෙන් රට තුළ ලියාපදිංචි නොකළ වාහන වල හිඟයක් පවතී. එමෙන්ම, රට තුළ දැනට ලියාපදිංචි කර ඇති වාහන වල මිළ ගණන් ඉතා ඉහල ගොස් ඇත. එපමණක් නොව, මෙම දැරිය නොහැකි මිල ගණන් නිසා, ගණුදෙනු ද අඩු වී ඇත.

කෙටියෙන් කිවතොත්, ශ්‍රී ලංකාවේ වාහන කර්මාන්තය මේ අවස්ථාවේදී වාහන හිඟයකින් සහ පවතින දැරිය නොහැකි මිල ගණන් වලින් පීඩා විඳිමින් පවතී. එවැනි තත්වයන් යටතේ 2021 අයවැය ශ්‍රී ලංකා වාහන කර්මාන්තයට කෙසේ බලපායිද?

2021 අයවැය ශ්‍රී ලංකා වාහන කර්මාන්තයට ඇති කරන බලපෑම

පසුගිය වසරේ අයවැය සහ ආනයන තහනමේ ප්‍රතිඵලයක් ලෙස පවතින ඉහළ වාහනවල මිල ගණන් වලට අමතරව, නව 2021 අයවැය මඟින් වාහන ආනයන බදු වැඩි කරනු ඇත.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) හිටපු සභාපති රන්ජන් පීරිස් මහතා සමඟ ikman Vehicles කළ සම්මුඛ සාකච්ඡාවට අනුව නව අයවැය මගින් වාහන ආනයනය සඳහා 16% ක GST (භාණ්ඩ හා සේවා බද්දක්) පනවා තිබේ.

මෙහි ප්‍රථිපලය වනුයේ වාහන ආනයනයෙහි තවදුරටත් මිල ඉහළ යාමක් වන අතර රජය විසින් වාහන ආනයන තහනම ඉවත් කළ විට එය ක්‍රියාත්මක වනු ඇත.

“1000 සීසී මෝටර් රථයක් සඳහා දැන් පවතින තීරුබදු මිල රු. මිලියන 2 යි. 2021 අයවැය නිසා තීරුබදු මිල රු. 320,000 කින් ඉහල යනවා. එතකොට එය රු. මිලියන 2.32 ක්.” රන්ජන් පීරිස් මහතා පැවසීය.

ශ්‍රී ලංකා වාහන කර්මාන්තයේ වත්මන් තත්වය

ශ්‍රී ලංකා වාහන කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පීරිස් මහතා මෙසේ පැවසීය. “මේ වසර මුලදී අපට ව්‍යාපාර තිබුණා. ඒත්, කොරෝනා සහ ආර්ථික ගැටළු එයට බලපෑවා. දිනෙන් දින විකුණුම් පහත වැටුණා. දැන් අපට දැකිය හැක්කේ 0% සිට 1% දක්වා හෝ 2% විකුණුම් පමණයි.”

ඔහු තවදුරටත් පැහැදිලි කළ පරිදි,

“පාවිච්චි කරන ලද හා නව ලියාපදිංචි නොකළ කාර් සහ වාහන ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි. ප්‍රමාණවත් තොග නැහැ. පනවා ඇති සීමාව නිසා, ඉල්ලුම තිබුනත් රටට සැපයුමක්. එහි ප්‍රථිපලයක් ලෙස මිල ඉහළ ගොස් තියෙනවා. එම මිල ගණන් ඉහළ නිසා දැන් ගැනුම්කරුවන් ද නැහැ. මිනිසුන්ට මිලදී ගැනීමේ හැකියාවක් නැහැ.”

ශ්‍රී ලංකා වාහන කර්මාන්තයේ අනාගතය

vehicle import ban

මේ අවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්ත්වය නිසා, ශ්‍රී ලංකාවේ වාහන කර්මාන්තයට සුභදායී තත්ත්වයක් උදාවීමට නම් තව ටික කලක් ගත්වන බවක් පෙනෙන්නට තිබේ. Covid 19 වසංගතය නැවතීමෙන් පසුව වුවද, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට යම් කාලයක් ගතවනු ඇත. එම නිසා, ආර්ථිකය යතා තත්ත්වයට පත්වූ වහාම ආනයන තහනම ඉවත් කිරීමේ හැකියාව අවම වේ. 

පීරිස් මහතා මේ කාරණය සම්බන්ධයෙන් ද තම මතය ප්‍රකාශ කළේය.

“ඒ සියල්ල රඳා පවතින්නේ විදේශ මුදල් සංචිත කෙතරම් වේගයෙන් වර්ධනය වේද යන්න මතයි. තහනම ඉවත් වූ පසු, වෙළඳපොල ක්‍රමයෙන් විවෘත වේවි. ඒත් සියලු නිෂ්පාදන සඳහා නොවේ. සමහර විට වෑන් සහ ට්‍රක් වැනි වාණිජ වාහන වලින් ආරම්භ වේවි. පසුව, ඔවුන් 1000 සීසී ට අඩු මෝටර් රථවලට පිවිසෙන්නට පුළුවන්.”

“මම හිතන්නේ නැහැ ඔවුන් අපට සුඛෝපභෝගී වාහන ගෙන ඒමට ඉඩ දෙයි කියලා. අපිත් ඉල්ලලා නැහැ. ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා අපි දන්නවා. තහනම ඉවත් කර නැවත ආනයනය පටන්ගද්දී, වාණිජ වාහන, කුඩා කාර් සහ වෑන් සහ ට්‍රක් රථ වලින් ආරම්භ කරන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. එතකොට විදේශ මුදල්වලට විශාල බලපෑමක් සිදු වෙන්නේ නැති නිසා. ”

අවසාන වශයෙන් කිව හැක්කේ, ශ්‍රී ලංකා වාහන කර්මාන්තය මේ වන විට ඉහළ ගොස් ඇති මිල ගණන් සහ විකිණීම සඳහා කාර් ඇතුළු වාහන වල තිබෙන හිඟයකින් පෙළෙන බවත්, රජය විසින් ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු ලබන වසරේ සිට වාහන ආනයනය සඳහා වැඩි බද්දක් අය කෙරෙන බවත් ය. කෙසේ වෙතත්, ආනයන තහනම ඉවත් කිරීමට නිශ්චිත හෝ තාවකාලික දිනයක් නොමැති බැවින් වාහන කර්මාන්තය මේ වන විට අවිනිශ්චිත තත්වයකට මුහුණ පා ඇත. කෙසේ නමුත්, ආනයන වාහන නැවත ආරම්භ කිරීමටත්, එමඟින් ඉල්ලුම හා සැපයුම් පරිමාණය සමතුලිත කිරීමටත් හැකි වූ විට, මිලෙහි අඩුවීමක් දැකගත හැකි වීමට ඉඩක් ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Tags

Related Articles

Back to top button
Close
Close