ඉලෙක්ට්‍රොනික්ස්

ආධුනිකයන් හට ගැලපෙන DSLR කැමරා මාදිලි

pic
තාක්ෂණයේ දියුණුවත් සමග ඡායාරූපකරණය ගොඩක් ජනප්‍රිය දෙයක් බවට පත්වෙලා. හිතෙන ඕනෑම මොහොතක අතේ ඇති ජංගම දුරකථනයෙන් ඇති තරම් ඡායාරූප ගන්න කාටත් පුළුවන්. ඒ වගේම යාළුවොත් එක්ක ඒ මොහොතේම ඡායාරූප හුවමාරු කරගන්න වගේම ෆේස්බුක් වලට අප්ලොඩ් කිරීමත් හැමෝම කරන දෙයක්.

නමුත් ගුණාත්මක, තත්ත්වයෙන් ඉහළ ඡායාරූපයක් ගන්න ජංගම දුරකථන වලට බැහැ. ඒ සඳහා වෘත්තීමය මට්ටමේ තියෙන DSLR වර්ගයේ කැමරාවක් අවශ්‍ය වෙනවා. උපකරණ වල මිළ සැලකිය යුතු මට්ටමින් පහළ යෑමත් එක්ක දැරිය හැකි මිලකට DSLR වර්ගයේ කැමරාවක් දැන් සොයගැනීමට පුළුවන්. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට විනෝදාංශයක් විදිහට අද වන විට බොහෝ දෙනා ඡායාරූපකරණය තෝරාගෙන තිබෙනවා.

ඇත්තටම මොනවාද මේ DSLR කැමරා කියලා කියෙන්නේ?

DSLR කියන එකේ තේරුම Digital Single-Lens Reflex කියන එක. DSLR කැමරාවක් සාමාන්‍ය Digital Camera එකකට වඩා අංග ගණනාවකින් සමන්විත වෙනවා. මේ අතරින් ප්‍රධානතම අංගය වන්නේ Lens එහෙමත් නැත්නම් කාච මාරුකිරීමට ඇති හැකියාවයි. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක ඔබට කාච මාරු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. නමුත් DSLR කැමරාවක මේ පහසුකම තියෙනවා. දැනට ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය Canon DSLR Camera සහ Nikon DSLR Camera. මෙම වර්ග දෙකෙහි පැහැදිලි වෙනසක් නැති තරම්. නමුත් Canon පමණක් භාවිතා කිරීමට සහ Nikon පමණක් භාවිතා කිරීමට කැමති පිරිස් කාණ්ඩ දෙකක් ඡායාරූපකරණයේ යෙදෙන අය අතර සිටිනවා. මේ අතර Sony, Pentax සහ Olympus වර්ගයේ DSLR කැමරාත් වෙළඳපොලේ ජනප්‍රියයි.

DSLR කැමරාවක් කීයක් විතර වෙනවාද?
1

ප්‍රධාන වශයෙන් කාණ්ඩ 03කට DSLR කැමරා වෙන් කරන්න පුළුවන්. ආධුනික, මධ්‍යම හා වෘත්තීමය වශයෙන්. ඒ් වගේම DSLR කැමරා ඔබට ආකාර කීපයකට මිළට ගත හැකියි. ඒ කැමරාව පමණක් හෝ ලෙන්ස් සමග කැමරාව ආකාරයෙනි. ඔබ කැමරාව පමණක් මිළට ගන්නවා නම් මිළ සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා. ඔබට දැනටමත් කැමරා ලෙන්ස් තිබෙනවා නම් කැමරා බොඩි එකක් පමණක් මිළට ගැනීමට ප්‍රමාණවත්. අනතුරුව ඔබ කැමති පරිදි ගැලපෙන ලෙන්ස් එකක් හෝ කීපයක් ඔබට මිළදී ගැනීමට පුළුවන්. සාමාන්‍යෙයන් ආධුනික මට්ටමේ අළුත්ම DSLR කැමරාවක් රු.50,000 සිට ඉහලට මිළට ගන්න පුළුවන්. මධ්‍යම මට්ටමේ DSLR කැමරාවක් රු.99,000 සිට ඉහළටත් වෘත්තීමය මට්ටමේ කැමරාවක් රු. 165,000 සිට ඉහළටත් මිළට ගන්න ඔබට පුළුවන්. අද මෙම ලිපිය මගින් ආධුනික මට්ටමේ සිටින විනෝදාංශයක් විදිහට ඡායාරූපකරණය හැදෑරීමට බලාපොරොත්තු වන අයට ගැලපෙන DSLR කැමරා මාදිලි කීපයක් හඳුන්වා දෙනවා.

Nikon D3300
nikon

මෙම කැමරා මාදිලිය හඳුන්වා දුන්නේ 2014 වර්ෂයේ. නමුත් තවමත් මෙම කැමරා මාදිලිය නිෂ්පාදනය වනවා. මෙගා පික්සල් 24.2ක CMOS Sensor එකක් සහ ISO පරාසය 100-12,800ත් අතර වෙනස් කල හැකි මෙම කැමරාවේ අඟල් 3ක ප්‍රමාණයේ තිරයක් අඩංගු වෙනවා. එමෙන්ම Full HD 1080p ආකාරයට වීඩියෝ කිරීමේ හැකියාවත් කැමරාවටම සවිකල ෆ්ලෑෂරයක් මෙම කැමරාව සතුයි. ග්‍රෑම් 460ක බරකින් යුතු මෙම කැමරාවෙන් එක වරක් බැටරි චාර්ජ් කිරීමෙන් ඡායාරූප 700කට ආසන්න ප්‍රමාණයක් ගැනීමේ හැකියාව තිබෙනවා. දැනට වෙළඳපොලේ මෙම කැමරාව 18-55mm ලෙන්ස් එක සමග රු. 59,500 සිට ඉහළට අළුතින්ම මිලට ගැනීමට හැකියාව තියෙනවා. භාවිතා කල කැමරාවක් රු. 50,000 සිට ඉහළට සොයා ගැනීමට ඔබට පුළුවන්.

Canon EOS 1200D
canon

ඉහතින් සඳහන් කල නිකොන් DSLR කැමරාවේ ප්‍රතිවාදියා ලෙස Canon 1200D කැමරාව හඳුන්වා දෙන්න පුළුවන්. මෙම මාදිලියත් 2014 වර්ෂයේ හඳුන්වා දුන්නක් වන අතර මෙගා පික්සල් 18ක CMOS Sensor එකක් මෙහි අඩංගුයි. ISO පරාසය මෙහි ප්‍රතිවාදී නිකොන් මාදිලියට වඩා මදක් අඩු අගයක් ගනී. ඒ 100-6400ත් අතර පිහිටීම හේතුවෙන්. Full HD 1080p වීඩියෝ කිරීමේ හැකියාව සහ කැමරා ෆ්ලෑෂරය අඩංගු මෙම මාදිලිය එක් වරක් චාර්ජ් කිරීමෙන් ඡායාරූප 500කට ආසන්න ප්‍රමාණයක් ලබාගත හැක. මෙය 480g බරකින් යුක්ත වන අතර 18-55mm ලෙන්ස් එක සමග රු. 55,000 සිට ඉහළට ඔබට මිලදී ගැනීමට පුළුවන්. මේ වර්ගයේ මදක් භාවිතා කල කැමරාවක් රු. 45,000කට පමණ සොය ගැනීමටත් හැකියාව තියෙනවා.

Nikon D3200
nikonD

මුලින්ම ඔබට හඳුන්වා දුන් Nikon D3300 මාදිලියට කලින් පැමිණි කැමරාව ලෙස මෙම මාදිලිය ඔබට හඳුන්වා දිය හැකියි. හඳුනාගත හැකි පැහැදිලි වෙනස්කම් කීපයක් ලෙස කැමරාවේ බර 505g ක් වීමත් තත්පරයට රූප රාමු 4ක් පමණක් මෙහි ලබාගැනීමට හැකිවීමත් සහ ISO පරාසය මූලික වශයෙන් 6400ට සීමා වීමත් සඳහන් කරන් පුළුවන්. මෙම කැමරාවක් අළුතින්ම මිලදී ගැනීමට රු.54,500ක් පමණක් (ලෙන්ස් එක සමග) වැය වන අතර භාවිතා කල කැමරාවක් රු.45,000කට ආසන්න මිළකට ලබාගත හැකිවනු ඇත.

Canon EOS 700D
EOD

2013 වර්ෂයේ මුල් භාගයේ හඳුන්වා දුන් මෙම කැමරා මාදිලිය ඉහත සඳහන් කල කැමරා මාදිලීන්ට වඩා මදක් පහසුකම් වලින් වැඩි එකක්වනවා. මෙගා පික්සල් 18ක් අඩංගු Hybrid CMOS Sensor එකක් සහ වැඩි දියුණු කල ප්‍රොසෙසරයකින් සමන්විත මෙම කැමරාවේ ඔටෝ ෆෝකස් කිරීමේ පහසුකම වඩාත් දියුණු කර තිබීම විශේෂත්වයක්. ස්ටීරියෝ මයික් සමගින් ඇති හයි ඩෙෆිනිෂන් වීඩියෝ කිරීමේ පහසුකම සහ ටච් පහසුකම සහිත අඟල් 3ක තිරය කාර්යය වඩාත් පහසුකරනු ලබයි. ඉහත හඳුන්වා දුන් කැමරා මාදිලි වලට වඩා මිළෙන් මදක් වැඩි මෙය රු.71,000 සිට ඉහළට ලෙන්ස් එකක් සමග ඔබට මිලදී ගැනීමට පුළුවන්.

තවත් මේ වගේ කැමරා වල විස්තර ඉදිරියෙදිත් ඔබත් එක්ක අපි බෙදාගන්නම්. ඔබ කැමති යම්කිසි කැමරා මාදිලියක් ඇතිනම් පහතින් කමෙන්ට් එකක් වශයෙන් සඳහන් කරන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close