Food & Agriculture

ඔබේ ගෙවත්තේ කෙටි කාලයකින් ලේසියෙන් ම වගාකල හැකි එළවළු (Vegetables) වර්ග 5ක්

වස විස නැති ගුණදායී ආහාර ගෙදරදී ම හදා ගන්න අපි හුඟ දෙනෙක් කැමතියි. ඒ වගේ ම ආර්ථික අර්බුදයක් පවතින මේ වගේ කාලයකදි හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙන්නෙ තම තමන්ට අවශ්‍ය කරන එළවළු ගෙවත්තේ ම වගාකරගන්නෙ කොහොමද කියන කාරණය ගැන. ඒත් බහුලව අහන්න ලැබෙන ගැටළුවක් තමයි සමහර එළවළු ඵල දරන්න ලොකු කාලයක් ගතවන බව. ඒ නිසා, ගෙවත්තේ ම එළවළු වගා කිරීම කොතරම් අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති නමුත් අපි නිතරම එය මඟ හරින්න පෙළඹෙනවා. හැබැයි හැම එළවළුවක් ම ඵල දරන්න ගොඩක් කල් යන්නෙ නෑ. කෙටි කාලයකින් ඵල දරන, ගෙවත්තේහි ම වගා කරගන්න පුලුවන් එලවළු ගොඩක් තියෙනවා. 

ගෙවතු වගාව සාමාන්‍යයෙන් මහා පරිමාණයෙන් කරන එළවළු වගාවන්ගෙන් වෙනස්. ගෙවත්තක වවන කොට ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ පොඩි ඉඩකඩක්. ඉතිං ඒ පොඩි ඉඩකඩෙන් උපරිම ප්‍රයොජනයක් ගන්න නම් ගෙවත්තක වවන්න සුදුසු එළවළු මොනවද කියලා අවබෝධයක් තියෙන්න ඕන. ඒ අතරිනුත් ඉක්මනින් ම ඵල දරන එළවළු තමයි හුඟක් ම වැදගත් වෙන්නෙ.

මේ ලිපියෙන් අපි, කෙටි කාලයකින් ඵල දරන, ලේසියෙන් ම ඔෙබ් ගෙවත්තේ වගා කරගත හැකි එළවළු 5ක් ගැන වැදගත් විස්තර ඔබට පැහැදිලි කරන්න සූදානම්. ඉතිං, ගෙදරදී ම එළවළු වවාගන්න කැමැත්තෙන් ඉන්න ඔබට මේ ලිපිය ඉතා වැදගත් වේවි .

රාබු – සති 3 – 3 ½  

රාබු කියන්නෙ ඉතාම ගුණදායී ආහාරයක් වගේ ම වගා කරගන්නත් හරිම ලේසි එළවළුවක්. රාබු, තවාන් නොකර කෙලින්ම වගා කරගන්න පුලුවන්. කෘමින්ගෙන් සිදුවෙන හානි අවම නිසා බෙහෙත් ගහන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඕනෑම කෘෂිකර්මික වෙළෙඳසැලකින් ඔබට අවශ්‍ය පරිදි රාබු ඇට මිලදී ගන්න පුලුවන්.

පස හොඳින් පෙරලා වැලි කොම්පොස්ට් මිශ්‍ර පසෙහි එකිනෙකට අඟල් 2ක පරතරයක් තිබෙන පරිදි පාත්ති සකස් කර, අඟලක් විතර ගැඹුරට හාරාගත් කුඩා සිදුරුවල රාබු ඇට පැලකර ගන්න. දින දෙකකට වරක් වතුර දැමීම හොඳටම ප්‍රමාණවත්. රාබු ඇට පැලකර දවස් තුන හතරකින් පුංචි පැල හටගන්නා අයුරු ඔබට දකින්න පුලුවන්. රාබු ගෙඩි මධ්‍යම ප්‍රමාණයේ තිබෙන විට ගලවන්න පුලුවන්නම් හොඳයි. හොඳින් සාත්තු කළහොත් සති තුනෙන් අස්වැන්න ලබාගන්න පුලුවන්. 

නිවිති කොළ – සති 3 – 4

ආහාර හිඟය සහ ආහාර මිල ගණන් ඉහළ යෑම නිසා හුඟ දෙනෙක්ට මස් ආදි යකඩ බහුල ආහාර මඟහැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒකට විසඳුමක් විදියට පහසුවෙන් සහ සති 3ක් වැනි කෙටි කාලයක් තුලදී ගෙදරදී ම නිවිති වගා කරගන්න පුලුවන්. මොකද නිවිති කියන්නෙ යකඩ බහුල ආහාරයක් නිසා.

ඒ වගේ ම නිවිති, ඕනම තැනක ඕනම කාලයක වවන්න පුලුවන් නිසා තවත් පහසුයි. අලුතෙන් ම ගෙවතු වගාව පටන් ගන්න අයට පහසුවෙන් ම වගාකරගන්න පුලුවන් ආහාරයක්. නමුත් නිවිතිවල ඔක්සැලික් අම්ලය ඇති නිසාත් ශරීරයට කැල්සියම් අවශෝෂණය වළක්වන සුලු නිසාත් ඒ ගැනත් සැලකිලිමත් වීම සුදුසු යි.

වගා කිරීම සඳහා නිවිති ඇට භාවිතයට ගැනීම යෝග්‍යයයි. ගස් නිවිති සහ වැල් නිවිති ලෙස නිවිති වර්ග දෙකක් තිබෙන අතර ගස් නිවිති සිටවීමේ දී, සෙ.මී 15 ක පරතරයක සිටුවීම සුදුසු වේ. වැල් නිවිති සිටුවීමේ දී සෙ.මී 45ක පරතරයක සිටු විය යුතු වේ. ගස් නිවිති පෝච්චියක වුවත් සිටුවාගත හැකි නමුත් වැල් නිවිතිවලට ආධාරකයක් අවශ්‍ය වේ. කොතරම් කැපුවත් නිවිති නැවත නැවත වැවෙන නිසා දිගටම ආහාරයට ගන්න පුලුවන්. 

ලූනු කොළ – සති 3යි

අපි ලූනු නොදමා සාදන ආහාරයක් නැති තරම්. ලූනු කියන්නෙ එදිනෙදා උයන සෑම ආහාරයකට ම වගේ අත්‍යවශ්‍යයෙන් ම දාන එළවළුවක්. ලූනු වඩාත් රස වෙන්නෙ තරමක් ලොකුවන තරමට. ඒ නිසා ලූනු ගෙඩි වැවෙන්න ඉඩ හරින අතරතුර අපිට ලේසියෙන් ම සහ කෙටි කාලයකින් ලූනු හරහා ලබා ගන්න පුලුවන් තවත් එළවළුවක් තමයි ලූනු කොළ කියන්නෙ.

පැලකිරීමෙන් පසු, ලූනු කොළ ලබා ගන්න සති 3ක්වත් යන්නෙ නෑ. ලූනු ඇටවලින් වගාකරගන්න එක වඩාත් සාර්තකයි.

පස් කොම්පෝස්ට් මිශ්‍රණයක අඟල් 4ක පරතරයක් තිබෙන ආකාරයට පාත්ති සකසාගෙන අඟල් භාගයක ගැඹුරට කුඩා සිදුරු සාදා ඒවාට ඇට කීපය බැගින් දමා පැලකර ගන්න පුලුවන්.

රතු ලූනු පාවිච්චි කරවුවද අවශ්‍ය පරිදි වගා කරගන්න පුලුවන්. දවසක් පමණ වතුරෙහි දමා තියාගෙන මුල් ඇදීමෙන් පසු වැලි මිශ්‍ර කොම්පෝස්ට්වල පැල කරගන්න. ලූනු ගෙඩිය එක්ක ම ගලවා ගන්නේ නැතුව කොළ විතරක් කපා ගත්තොත් මාස 2ක් 3ක් වැනි කාලයක් නැවත නැවත ලූනු කොළ වවාගන්න පුලුවන්. 

පඳුරු මෑ – සති 4යි

බොංචි හෝ සාමාන්‍ය මෑ වගෙ නෙමෙයි, පඳුරු මෑ ගාඩක් උසට වැල් යන්නෙ නැහැ වගේ ම ඉක්මනට වැවෙන එළවළුවක්. ගැඹුරු පොච්චියක පස් කොම්පොස්ට් මිශ්‍රණයක් එක්ක පඳුරු මෑ කෙටි කාලයකින් වගා කරගන්න පුලුවන්. ඒ වගේ ම මාසයක් ඇතුළත මල් පිපිලා ගෙඩි හැදෙන අයුරු දැකගන්න පුලුවන් වෙනවා. එක පොච්චියකින් වුනත් වේල් කීපයකට සෑහෙන ප්‍රමාණයකට වගා කරගැනීමේ හැකියාව ඇත. මල් එන කාලය වනවිට වැඩියෙන් පොහොර දැමීම අවශ්‍ය වේ.

බණ්ඩක්කා – සති 6යි

විටමින් සහ ඛනිජ ලවන අනූන බණ්ඩක්කා යනු කිරට මෙන්ම තෙලටද උයාගත හැකි ඉතා රසවත් ආහාරයක් වන අතර ලපටි කාලෙදි කඩාගන්නා බණ්ඩක්කා වඩාත් රසවත් වේ. ඒ වගේ ම සති 6ක් වැනි කෙටි කාලයක් තුළදී ඵල දරන එළවළුවකි.

බණ්ඩක්කා, ඇට භාවිතා කර ඉතාමත් පහසුවෙන් වගා කරගත හැකි අතර බණ්ඩක්කා ඇටවල ඇති සෙවල ගතිය ඉවත් කිරීමට කඩදාසියක දමා වෙලා ගන්න.

අඩියක පමණ පරතරයක් තිබෙන පරිදි කුඩා සිදුරු සකසාගෙන පැල කරගන්න. දින කීපයක් තුළ පැල එන අතර ඒවා වෙගයෙන් වර්ධනය වේ. කුඩා බණ්ඩක්කා මාසයකින්ද, පවුලේ සියලු දෙනාටම සෑහෙන හොඳට වැඩුණු බණ්ඩක්කා ඵලදාවක් සති 6කින්ද ලබාගත හැකි වේ.

කෙටියෙන්

මීට අමතරව, සලාද කොල, පිපිඥඥා, නෝකෝල් ආදී එළවලු ද කෙටි කාලයකින් ගෙවත්තේ ම වවාගන්න පුලුවන්. මේවා අතරින් ඔබ වඩාත් කැමති එළවළු කීපයක් තෝරා ගෙන ඔබේ ගෙවතුවගාව පොඩියට පටන් ගන්න. මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔබට සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුලුවන්. ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දෙන්න වගේ ම, වස විස නැති ගුණදායි ආහාර රටාවකට හුරුවෙන්න කෙටි කාලයක් තුළ ඵල දරන මේ එළවළු ඔබත් ගෙදරදී ම වගාකර ගන්න.

ගෙවතුවගාව කරගෙන යෑමේදී අවශ්‍යවන gardening tools දැන් ඔබට ikman.lk හරහා මිලදී ගත හැක.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Back to top button
Close
Close