Food & Agriculture

ගෙවතු වගාව ගැන ඔබ දැනගත යුතුම දේවල්‍ 6ක්

මේ වන විට රටම මුහුණ දෙන ආර්තික අර්බුදයත් එක්ක ඇතිවී ඇති ආහාර හිඟය ගැන අපි හැමෝම හුඟක් සැලකිලිමත්. ඒ වගේම, තිබෙන ආහාරවල මිල ගනන් ඉහළ යාමත් සමඟ හැමෝම ගෙවතු වගාව ගැන වෙනදාට වඩා වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. නමුත් මෙවැනි අර්බුද කාලවකවානුවකදී ගෙවතුවගාවට යොමුවන ඔබට උපරිම පලදාවක් ලබාගන්නෙ කොහොම ද කියන ප්‍රශ්නය ඇති වෙන්න පුලුවන්. මේ ලිපියෙන් අපි, ගෙවතුවගාව ආරම්භ කිරීමේදී වගේම ගෙවතුවගාව දීගටම කරගෙන යාමේදී ඔබ දැනගෙන සිටිය යුතු වැදගත් කරුණු 6ක් ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතිං, ඔබත් ගෙවතුවගාව ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන හෝ දැනටමත් ගෙවතුවගාව ආරම්භ කර ඇති කෙනෙක් නම් මේ ලිපිය ඔබට වැදගත් වේවි.

1. සරු බිමක් තෝරා ගැනීම

ගෙවතුවගාවේදී නිවැරදි බිමක් තොරාගැනීම ඉතා වැදගත් කරුණක්. මන්දයත්, නිසරු බිමක් තෝරාගැනීම නිසරු පලදාවක් ලබාදෙන බැවිනි. සරු බිමක් තෝරාගැනීමෙදී විශේෂයෙන් සැලකිය යුතු කරුණු කීපයකි.

  • හිරු එළිය නිසි ලෙස ලැබීම – බොහෝ එළවලු වර්ගවලට පැය 6 – 8 අතර ඝෘජු හිරු එළියක් අවශ්‍යවේ.
  • හොඳින් ජලය බැස යන අතර නිරන්තරයෙන් තෙත්ව නොතිබීම – ඔබේ ගෙවත්තෙහි ඇත්තේ පහසුවෙන් ජලය බැස නොයන පසක් නම් තරමක් උස් පාත්ති වල වගා කිරීම ජලය බැස යාමට උදව්වේ.
  • දැඩි සුළං රහිත වීම – දැඩි සුළං සහිත ප්‍රදේශ භාවිතා කිරීමෙන් වැළකීම පැල විනාශ වීමෙන් ආරක්ෂා කරගැනීමට උපකාරී වේ.
  • පෝෂකවලින් සරු පසක් වීම – සරු පසක් සරු සහ පලදායී අස්වන්නක් ලබා දේ. (ඔබේ පස තවදුරටත් සරු කර ගැනීමට කාබනික ද්‍රව්‍ය තරමක් වැඩිපුර එකතු කර ගන්න.)

2. බිම් ප්‍රමාණය තෝරා ගැනීම (කුඩාවට ආරම්භ කරන්න)

ආරම්භයේදීම අප අතින් සිදුවන වඩාත් පොදු දෝෂයක් නම් අප ආහාරයට ගන්නා හෝ අපට අවශ්‍යය ප්‍රමාණයට වඩා ඩැඩියෙන් වගා කිරීමට ඉක්මන් වීමයි. එම නිසා ඔබේ ගෙවත්ත ප්‍රවේශමෙන් සැලසුම් කර කුඩාවට පටන් ගන්න, ඔබ සහ ඔබේ පවුලේ අය ආහාරයට ගන්නා ප්‍රමාණයට පමණක් වගා කරන්න.

කුඩා ඉඩක ගෙවතුවගාව

අපි මෙතෙක් කතා කලේ ඉඩකඩ යම් ප්‍රමාණයක් තියෙන බිමක් තෝරා ගැනීම සම්බන්දයෙන්. නමුත් ගෙවතුවගාව පටන් ගන්න බලාපොරොත්තුවෙන නගරාශ්‍රිතව ජීවත්වෙන හුඟදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඉඩකඩ නොමැතිකම. ඒත් ඒක එතරම් වදවෙන්න අවශ්‍ය කාරණාවක් නෙවෙයි. මොකද ඉවතලන කුඩා බදුන්, පෝච්චි වැනි දෑ යොදාගෙන ඔබේ කුඩා ඉඩ ප්‍රමාණය සාර්ථකව භාවිතා කරන්න පුලුවන්. බිත්ති හෝ තාප්පවල තිරස් හො සිරස් අතට ආධාරක උපකාරයෙන් වගා කිරීමට ඉඩ සලසා ගන්න පුලුවන්.

3. එළවළු තෝරා ගැනීම

රටේ පවතින තත්වයත් සමඟ, ඵලදායී සහ පහසුවෙන් වගා කල හැකි එළවළු තෝරා ගැනීම ඉතා වැදගත් වේ. අප විසින් එවැනි එළවළු දහයක් පහත ලැයිස්තුගත කර ඇත. කෙසේ නමුත්, ඔබේ ප්‍රදේශයේ වඩාත් හොඳින් වැඩෙන පැල මොනවාදැයි සොයා බැලීමට අමතක නොකරන්න. උදාහරණයක් ලෙස, ඔබ ජීවත් වන්නේ අතිශයින් උණුසුම් කාලගුණයක් ඇති ප්‍රදේශයක නම්, සිසිල් උෂ්ණත්වයට කැමති එළවලු, වගාවට එතරම් සුදුසු නොවේ.

පහසු එළවළු වර්ග 10ක්:

  • බටු
  • මිරිස්
  • වැටකොලු
  • පතෝල
  • වට්ටක්කා
  • කරවිල
  • බෝංචි
  • රාබු
  • තක්කාලි
  • ගොටුකොළ, මුකුණුවැන්න, නිවිති

එළවළු තෝරා ගැනීම සඳහා උපදෙස්:

  • ඔබ සහ ඔබේ පවුලේ අය ආහාරයට ගැනීමට කැමති එළවලු තෝරා ගන්න.
  • වෙළඳසැලේ ඔබට පහසුවෙන් සහ අඩු මිලට ලබා ගත හැකි එළවළු තිබේද යන්න සලකා බලා හිඟ එළවලු වගා කරන්න.  
  • උසස් තත්ත්වයේ බීජ භාවිතා කරන්න. බීජ පැකට්, තනි පැල වලට වඩා අඩු මිලකට ලබාගත හැක.

4. වගා කිරීම

ඔබ තෝරාගත් වගා බිමෙහි වල්පැලෑටි උදුලු ගා, රොඩු සුද්ද කර, මතු පිට පස බුරුල් කරගත යුතුය. ඉන්පසුව ඔබේ පාත්තියේ දිග පළල අනුව කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත යුතුවේ.

බදුන් තුල වගා කරනවා නම් මතු පිට පස්, දිරා ගිය ගොම සහ කාබනික පොහොර සමාන කොටස්වලින් වගා බදුන් පුරවා ගත හැක.ඉන්පසුව, බීජ පැල කර පැලවන තුරු දිනකට දෙපාරක් උදේ හවස ජලය සම්පාදනය කල යුතුය. පැලෑටි වලට වතුර දැමීමේදී, සෑම විටම මූල කලාපය කෙරෙහි අවධානය යොමු කිරීමට මතක තබා ගන්න.

5. කාබනික පළිබෝධ පාලන විසදුම් සහ ක්‍රම

කිසිම ගෙවත්තක් පළිබෝධ සහ රෝග වලින් සම්පූර්ණයෙන්ම නිදහස් නොවන බව අපි කවුරුත් දන්නවා. දිලීර ආසාදන, දළඹුවන්, කුරුමිණියන්, සහ තවත් බොහෝ දේවලින් හානි සිදුවිය හැකි නමුත් කාබනික පළිබෝධ පාලන විසදුම් සහ ක්‍රම භාවිතා කිරීමෙන් ඔබට හානිය අවම කර ගත හැකිය.

කාබනික පළිබෝධ පාලනය යනු කුමක්ද?

ඔබේ ගෙවත්ත රෝගවලින් සහ පලිබෝධවලින් ආරක්ෂා කර ගැනීම සඳහා කාබනික ද්‍රව්‍ය භාවිතා කිරීම කාබනික පළිබෝධ පාලනයයි.

පළිබෝධකයන්ට රැකවරණය සපයන දිරාපත් කොළ, වැටුණු පලතුරු සහ අනෙකුත් රොඩු ඉවත් කල යුතුය. මෙය ආසාදන වැලැක්වීමට උපකාරී වේ. එසේම, ආසාදිත ශාක ඔබේ කොම්පෝස්ට් ගොඩට එකතු කිරීමෙන් වළකින්න. ඒ වගේම, ඔබට කොහොඹ හෝ රතුලූනු පොතු නිස්සාරන වැනි ගෙදරම සාදාගත් කෘමිනාශක භාවිතා කිරීමටද හැකිය. මෙම ස්වාභාවික කෘමිනාශක ඔබේ ශාකවලට හානි නොකර පළිබෝධකයන්ට එරෙහිව සටන් කරයි. මෙම ස්වාභාවික පළිබෝධනාශක නිතර නිතර, විශේෂයෙන් වැසි දිනවලදී නැවත යෙදීමට මතක තබා ගන්න.

6. ගෙවතුවගාව සඳහා යොදාගන්නා මෙවලම් (Gardening Tools) 

පළමු වතාවට ගෙවත්තක් ආරම්භ කරන විට, නිවැරදි මෙවලම් තිබීම බෙහෙවින් උදව් වේ. ගුණාත්මක, කල් පවතින මෙවලම් කෙරෙහි පමණක් අවධානය යොමු කරන්න. මෙවලම් කිහිපයකින් පමණක් ආරම්භ කිරීමට පුලුවන් අතර ගෙවත්ත කරගෙන යාමේදී, ඔබට අවශ්‍ය වන අනෙකුත් මෙවලම් මොනවාදැයි දැනගැනීමට හැකිවේ.

මූලිකවම පාත්ති සකස් කිරීම සහ හෑරීම සඳහා, ඔබට අත් සවලක්, මුල්ලුවක්, ගෙවතු උදැල්ලක් සහ ගෙවතු රාක්කයක් අවශ්‍ය වේ.

ඔබට අව‍ශ්‍ය‍ය ඉහළ තත්ත්වයේ මෙවලම් (gardening tools) දැන් ikman.lk හරහා ලබාගත හැකිය.

 ආහාර හිඟයට විසඳුමක් ලෙස වගේම ඔබේ එදිනෙදා ආහාර පෝශ්‍යදායීව ගෙදරදීම වගා කරගන්න ඔබත් අදම ගෙවතු වගාව ආරම්භ කරන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Back to top button
Close
Close