ඉලෙක්ට්‍රොනික්ස්

සිසුවෙකුට ගැලපෙන හොඳම ලැප්ටොප් එකක් තෝරාගන්නේ කොහොමද?

සිසුවෙකුට ගැලපෙන හොඳම ලැප්ටොප් එකක් තෝරාගන්නේ කොහොමද?
ලැප්ටොප් පරිගණක අද කාලයේ කොයි කාටත් නැතුවම බැරි ඉලෙක්ට්‍රොනික් උපකරණයක් බවට පත්ව තිබෙනවා. ජංගම උපකරණ වල සුලබත්වයත් සමග අද වන විට ඩෙස්ක්ටොප් පරිගණක කාර්යාල වලට පමණක් සීමා වී තව ටික කලකින් දැක ගැනීමටවත් නොහැකි වන්නට පුළුවන්. ලැප්ටොප් එහෙමත් නැතිනම් නෝට්බුක් පරිගණක අද කොයි කාගෙත් ප්‍රියතම තාක්ෂණික උපකරණයක්. මෙයට ප්‍රධාන හේතුවක් විදිහට ලැප්ටොප් පරිගණක වල මිල සැලකිය යුතු මට්ටමකින් පහළ යෑම සඳහන් කල යුතුයි. එකිනෙකාගේ අවශ්‍යතාවය හා වියදම් කල හැකි මුදල අනුව අළුත්ම හෝ භාවිතා කල පරිගණක මිලට ගැනීම සිදුකරයි. නමුත් බොහොමයක් දෙනා තමන්ට ගැලපෙන හොඳම ලැප්ටොප් පරිගණකය තෝරාගැනීමේදී ප්‍රශ්ණකාරී තත්වයකට මුහුණදෙනවා. මේ ලිපිය ඒ සඳහා ඔබට හරි තීරණයක් ගැනීමට උපකාරයක් සලසාවි.

සිසුවෙකු ලැප්ටොප් පරිගණකයකින් කරගැනීමට අවශ්‍ය මූලික කාර්යයන් මොනවාද කියා මුලින්ම බලමු.
1. අන්තර්ජාලයේ සැරිසැරීම
2. නිබන්ධන සකස්කිරීම හා අනෙකුත් ලිපි ලිවීම
3. චිත්‍රපට නැරඹීම
4. ගීත වලට සවන් දීම

මීට අමතරව එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවයන් අනුව මීට වඩා වැඩි කාර්යයන් එකතු විය හැක. නමුත් මෙම මූලික කාර්යයන් කරගැනීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණකයක් සතුවිය යුතු අංග මොනවාද යන්න අපි දැන් බලමු.

• ප්‍රොසෙසරය: Intel Quad Core හෝ Core i3
Intel ප්‍රොසසර අඩංගු ලැප්ටොප් සෑම තැනකම ඉතාමත් සුලබ අතර මීට අමතරව ඇත්තේ ලංකාවේ එතරම් ජනප්‍රිය නොමැති AMD ප්‍රොසසර අඩංගු ලැප්ටොප් වේ. මෙම AMD ප්‍රොසසර අඩංගු ලැප්ටොප් ඉන්ටෙල් ප්‍රොසසර අඩංගු ලැප්ටොප් වලට වඩා සාපේක්ෂව මිලෙන් අඩුවෙයි. Dell Laptops සහ HP Laptops වලින් බහුතරයකම අඩංගු වන්නේ ඉන්ටෙල් ප්‍රොසසර වන අතර Lenovo සහ Asus Laptops වලින් සමහර මාදිලි වල AMD ප්‍රොසසර සොයගත හැකි වනු ඇත.

ඉහත අප සඳහන් කල මූලික කාර්යයන් කීපය පමණක් ඔබ ගැනීමට බලාපොරොත්තුවන ලැප්ටොප් පරිගණකයෙන් කරගැනීමට බලාපොරොත්තුවනවා නම් Quad Core ප්‍රොසසරයක් අඩංගු පරිගණකයක් ප්‍රමාණවත් වෙයි. නමුත් ඇඩෝබි පොටෝෂොප්, කොරල් ඩ්‍රෝ සහ වෙනත් පරිගණක මෘදුකාංග භාවිතා කිරීමට අවශ්‍ය නම් සහ පරිගණකයේ වේගය ගැන වද වෙනවා නම් Core i3 හෝ ඊට වඩා ඉහල ප්‍රොසසරයක් අඩංගු ලැප්ටොප් පරිගණකයක් ගැනීම සුදුසුවෙයි.

හොඳ තත්වයේ ඇති භාවිතා කල Quad Core ලැප්ටොප් පරිගණකයක් රු.35,000 සිට ඉහළට සොයාගත හැකි අතර අළුත්ම ලැප්ටොප් පරිගණකයක් රු.52,000 සිට ඉහළට මිළට ගැනීමට පුළුවන්. සාමාන්‍යෙයන් Quad Core ලැප්ටොප් පරිගණකයක 4GB රැම් සහ 500GB හාඩ් ඩ්‍රයිව් එකක් අඩංගු වන අතර සමහරක් මාදිලි වලට මෙය වෙනස් වෙයි.

• රැම්: 2GB – 4GB අතර
පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක වැඩ කරමින් සිටින ගමන් එකවර ටැබ් පහකට වැඩි සංඛ්‍යාවක ඔබ අන්තර්ජාලයේ සැරිසැරීමත් ඒ සමගම ගීතයක් වාදනය කිරීමත් ඔබ සිදුකරනවා නම් අවම 4GB වත් ඇති ලැප්ටොප් පරිගණකයක් මිළට ගැනීම නුවණට හුරුවේ. නමුත් ඔබ එකවර කාර්යයන් කීපයක් කරන්නේ නැතිනම් 2GB රැම් එකක් ඇති ලැප්ටොප් පරිගණකයක් ප්‍රමාණවත් වනු ඇත. ලැප්ටොප් වල ප්‍රොසසරය වෙනස් කිරීමට නොහැකි වුනත් රැම් එක ඔබගේ අවශ්‍යතාවය අනුව අඩු වැඩි කරගැනීම් සිදුකර ගත හැකියි. ඒ නිසා ඒ ගැන ලොකු ගැටළුවක් මතුවන්නේ නැහැ.

• හාඩ් ඩිස්ක්: 500GB
දත්ත ගබඩා කිරීම දැන් කොයි කාගේත් අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. අද කාලයේ බස් රියදුරෙකු අත පවා USB පෙන් ඩ්‍රයිව් එකක් දැක ගන්න පුළුවන්. වෙනදාට වඩා දැන් දහස් ගණන් mp3 ගීත, සිය ගණන් චිත්‍රපට සහ ජායාරූප ඇල්බම් ඇති නිසා විශාල දත්ත ගබඩා ක්‍රම අවශ්‍ය වී තිබෙනවා. දැන් තිබෙන බොහොමයක් ලැප්ටොප් පරිගණක වල අවම 500GB ධාරිතාවය ඇති හාඩ් ඩිස්ක් එකක් එන අතර ඔබට අවශ්‍ය නම් 1TB හාඩ් ඩිස්ක් එකක් වුවද එකතු කර ගතහැකියි. එමෙන්ම දැන් පිටතින් සම්බන්ධ කල හැකි එහාමෙහා රැගෙන යා හැකි හාඩ් ඩිස්ක් ඇති නිසා දත්ත ගබඩා කිරීම ඉතා පහසු වී තිබේ.

• තිරය: 14” – 15”LED තිර
ලැප්ටොප් පරිගණකයක මිළ හා ප්‍රමාණය (දිග,පළල,බර) තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ එහි තිරයේ ප්‍රමාණයයි. මෙහිදී ඔබ යම්තරමක් සැලකිලිමත් විය යුතුවෙනවා. ඔබට අවශ්‍ය වන්නේ විශාල ප්‍රමාණයේ තිරයක් නම් සහ ඔබ ලැප්ටොප් එකෙහි බර හා දිග පළල පිළිබඳ වද නොවන්නේ නම් අඟල් 15ට වැඩි තිරයක් සහිත පරිගණකයක් ඔබට තෝරාගන්න පුළුවන්. නමුත් ඔබට අවශ්‍ය සැහැල්ලු සහ ප්‍රමාණයෙන් කුඩා ලැප්ටොප් පරිගණකයක් නම් අඟල් 14 හා ඊට අඩු ලැප්ටොප් පරිගණකයක් තෝරාගැනීම නුවණට හුරුවේ. වෙළඳපොලේ මෙම අවශ්‍යතා දෙකම සපුරන එනම් සැහැල්ලු හා තිර ප්‍රමාණයෙන් විශාල ලැප්ටොප් මාදිලි තිබුනත් ඒවා මදක් මිළෙන් වැඩි වේ.

දැනට ඇති ලැප්ටොප් පරිගණක බොහොමයක ඇත්තේ HD තීව්‍රතාවය සහිත LED backlit තිර වන අතර ඒවායේ ප්‍රමාණයන්හී වෙනසට අමතරව වෙනත් වෙනස්කම් අවම වේ. නමුත් එම තිර සම්බන්ධයෙන් ඔබ වඩාත් උනන්දු නම් ඒවායේ දීප්තිය, ආලෝක ප්‍රමාණය, පැහැදිලිභාවය හා වර්ණ ප්‍රමාණයන්ගේ වෙනස්කම් අන්තර්ජාලයේ ඇති ලිපි මගින් සොයාගත හැකිවනු ඇත.

• ග්‍රැෆික් වීඩියෝ මතකය
ඕනෑම පරිගණකයක රූපක එහෙමත් නැතිනම් ග්‍රැෆික් සම්බන්ධ මතකය සඳහා VGA කාඩ්/ග්‍රැෆික් කාඩ් එකක් තිබේ. මූලික මට්ටමේ ලැප්ටොප් පරිගණක බොහොමයක මෙය ප්‍රධාන පුවරුවේම (mother board) අංගයක් ලෙස එන අතර එය රැම් එක සමග මතකය බෙදාගනී. අප ඉහතින් සඳහන් කල කාර්යයන් පමණක් සිදුකිරීමට නම් මෙම 768MB පමණ වන ග්‍රැෆික් මතකය ප්‍රමාණවත් වන අතර ඔබ ග්‍රැෆික් ඩිසයිනින් හා ඇනිමේෂන් හා පරිගණක ක්‍රීඩා භාවිතා කිරිමට බලාපොරොත්තු වනවා නම් මීට වඩා ඉහළ ප්‍රමාණයක ග්‍රැෆික් කාඩ් එකක් ගැනීම අත්‍යාවශ්‍ය වේ.

මෙම ප්‍රධාන අංගෝපාංග වලට අමතර ඩීවීඩී ධාවකය, වෙබ් කැමරාව, වයිෆයි හා බ්ලූටූත් යන අංග බොහෝමයක් ලැප්ටොප් පරිගණක වල එක හා සමාන වේ. එමෙන්ම දැන් වෙළඳපොලේ ඇති Dell, HP, Asus, Lenovo සහ Softlogic laptops සියල්ල අවම අවුරුද්දක වගකීමක් ලබාදෙයි.
දැන් ඔබට ගැලපෙන හොඳම ලැප්ටොප් මාදිලිය තෝරාගැනීම ඔබ සතුයි!

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close